IELTS විභාගය යනු කුමක්ද ඒ සඳහා සූදානම් වන්නේ කෙසේද (1)

June 13, 2022

ඉංග්‍රීසි කියන්නේ  ලොව පුරා භාවිතා  මිලියන 379 කට වැඩි  පිරිසක්  භාවිතා කරන භාෂාවක්.ඒ වගේම ඉංග්‍රීසි ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක භාවිතා වන භාෂාව විදිහටත් බොහෝ දෙනා හඳුන්වනවා. 

ඔබ ඉංග්‍රීසි භාෂාව මවු බස ලෙස භාවිතා වන රටකට යම්කිසි හේතුවක් නිසා සංක්‍රමණය වෙනවා නම්, ඔබට රැකියාවක නිරතවීමට, අධ්‍යාපන කටයුතු වල නිරතවීමට වගේම එදිනෙදා වැඩ කටයුතු සඳහාත් ඒ රටේ ස්වදේශික ජනතාව සමඟ ඉතාම සමීපව ගනුදෙනු කිරීමට සිදුවනවා. මේ  නිසා ඔවුන් සමගින් හොඳින් සන්නිවේදනය කිරීමට ඔබට ඇති හැකියාව ඉතාම වැදගත්.අන්න ඒ හේතුව නිසාවෙන් ඉංග්‍රීසි මවු භාෂාව ලෙස භාවිතා වන රටවල් වලට වෘත්තීය  සහ අධ්‍යාපන හේතුන් මත සංක්‍රමණවන්නන්ගේ  ඉංග්‍රීසි භාෂා හැකියාව ඇගයීමට ලක්කිරීම උදෙසා විශේෂ භාෂා පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ  තමයි IELTS පරීක්ෂණය   

අපි කලිනුත් සඳහන් කල විදිහට ඔබ  ඉංග්‍රීසි මවු බස විදිහට භාවිතා කරන ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය වගේ රටකට අධ්‍යාපනය ලබාගන්න හෝ  රැකියා අවස්ථාවක් වෙනුවෙන් සංක්‍රමණය වෙන්න හිතන කෙනෙක් නම්, ඔබ අනිවාර්යයෙන්ම මුහුණ දිය යුතු භාෂා පරීක්ෂණයක් වන මේ International English Language Testing System (අන්තර්ජාතික ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ පද්ධතිය) නැතිනම් බොහෝ දෙනා කෙටියෙන් හඳුන්වන IELTS පරීක්ෂණය බ්‍රිතාන්‍ය කවුන්සිලය, IDP: IELTS Australia සහ Cambridge English කියන ආයතන සියල්ල  ඒකාබද්ධව සම්මත කරගත් නිර්ණායක වලට අනුව තමයි පැවැත්වෙන්නේ. මේ මගින් ඔබට  ඉංග්‍රීසි භාෂාව නිවැරදිව සහ  ප්‍රායෝගිකව භාවිතා කිරීමට ඇති හැකියාව කොටස් හතරක් යටතේ ඇගයීමට ලක් කරනවා. ඒ තමයි 

             1. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන කෙනෙකු කියන දේට  සවන්දී තේරුම් ගැනීමට  ඔබට ඇති හැකියාව

            2. ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති දේ කියවීමට ඔබට ඇති හැකියාව

             3. ඔබට ඉංග්‍රීසි භාෂාව නිවැරදි ලෙස ලිවීමට ඇති හැකියාව  

             4. ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට ඔබට ඇති හැකියාව

මේ කොටස් හතරම අවසානයේ ඔබ ලබාගන්නා ලකුණු ප්‍රමාණය අනුව ඔබේ ප්‍රතිඵලය පහතින් දැක්වෙන ආකාරයට  1 සිට 9 පවතින පරිමාණයක ශ්‍රේණිගත කිරීම සිදුවනවා.

ශ්‍රේණිය  කුසලතා මට්ටම   
9 Expert user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අංග සම්පූර්ණ අවබෝධයක් ඇති, යෝග්‍ය, නිවැරදි සහ චතුර ඉංග්‍රීසි  භාවිතයක් ඇති පරිශීලකයෙකු ලෙසයි 
8 Very good user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ නුහුරු නුපුරුදු අවස්ථාවලදී භාෂාව  වැරදියට තේරුම් ගත හැකි නමුත් සංකීර්ණ හා සවිස්තරාත්මක තර්ක හොඳින් හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි  
7 Good user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ සාමාන්‍යයෙන් සංකීර්ණ භාෂාව හොඳින් හසුරුවන සවිස්තරාත්මක තර්ක තේරුම් හොඳින් හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි  
6 Competent user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ සමහර වැරදි, නුසුදුසු භාවිතය සහ වැරදි වැටහීම් මධ්‍යයේ වුවද භාෂාව ඵලදායී ලෙස හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි  
5 Modest user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ ඔවුන්ගේම ක්ෂේත්රයේ සන්නිවේදනය සඳහා භාෂාව හොඳින් හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි  
4 Limited user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ ඔවුන්ගේම ක්ෂේත්රයේ මූලික සන්නිවේදනය සඳහා පමණක්  භාෂාව හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි.  
3 Extremely limited user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ හුරු පුරුදු අවස්ථාවක පමණක් භාෂාව හැසිරවීමට හැකි පරිශීලකයෙකු ලෙසයි
2 Intermittent user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ සෑම අවස්ථාවකම භාෂාව හැසිරවීමේ දුෂ්කරතා ඇති  පරිශීලකයෙකු ලෙසයි.  
1 Non-user මෙම ශ්‍රේණිය ලබාගන්නා කෙනෙකු සලකන්නේ  සරල වචන කිහිපයක් පමණක් දන්නා පරිශීලකයෙකු ලෙසයි.

IELTS පරීක්ෂණයෙන් හොඳින් සමත් වන්නට නම් ඔබ කල් තියා එයට සූදානම් විය යුතුමයි.ඔබට තනිවම වුවත් මෙම පරීක්ෂණය  උදෙසා සූදානම් වීමට හැකියාව පවතිනවා. අන්තර්ජාලය (www.ielts.org) හරහා  ඔබට පරීක්ෂණ ආකෘතිය, පරීක්ෂණ අන්තර්ගතය සහ IELTS නීති සහ රෙගුලාසි සියල්ල  පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්.එලෙසම ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රයෝගික පරීක්ෂණ සඳහාත් ඔබට අන්තර්ජාලය හරහා මුහුණ දෙන්නට හැකියාව පවතිනවා. 

ඔබට පරීක්ෂණය සඳහා සහය අවශ්‍ය නම්; ඔබට  IELTS මධ්‍යස්ථානයක හෝ  පුද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් පවත්වන IELTS  සූදානම් වීමේ පාඨමාලාවකට සහභාගී වීමට පුළුවන්. එය IELTS පරීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය  කරුණක් නොවූවත් බොහොමයක් අයදුම්කරුවන් පාඨමාලාවකට සහභාගීවීම  සිදුකරනවා. එසේ  සිදුකිරීම  මගින්  ඔබට පරීක්ෂණ ආකෘතිය, පරීක්ෂණ අන්තර්ගතය සහ IELTS නීති සහ රෙගුලාසි සියල්ල පිළිබඳ මනා අවබෝධයක් සහිත  ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ පහසුවෙන් IELTS විභාගය සඳහා මුහුණ  දීමට  හැකියාව ලැබෙනවා. 

තවත් මේ වගේ ඔබේ වෘත්තිය ජීවිතයට සහ අධ්‍යාපන කටයුතු වලට වැදගත් වන  දේවල් රැසක් දැනගන්න ඔබත් අදම www.esiphala.lk වෙත පිවිසෙන්න.